කෙනෙක්ගේ විනෝදාංශයක් තවත් කෙනෙක්ගේ ව්‍යාපාරයක්
අද අපි බලමු මාළු පිස්සෙක් කෝටිපතියෙක් වුණේ කොහොමද කියලා .
මේ ඔහුගේ කතාවයි.
Water World හිමිකරු ගේ කතාව
ආසියාවේ පළමු මුහුදු උමඟ මම හැදුවේ වයස 36 වෙන්නත් කලින්
දර්ශන ද සොයිසා සභාපති - Water World
දිය රල මත පීනා යන මාළුවකු ඔහුගේ ජීවිතයට ගෙනෙන්නේ සතුට පමණක් ම නොවේ. තෘප්තිය වත්කම්.... දේපළ.... අභිමානය.... අනන්‍යතාව ඇතුළු තව බොහෝ දේ ඒ තුළ වෙයි. මාළුවකුට දක්වන ආදරය... සැලකීම... සාගරයක් තරමට වැඩෙන විට පෙරළා ඔහු ලද දේද බොහෝය. වැටෙමින් නැඟිටිමින් මාළුන් හා ජීවත් වෙමින් ඔහු ආ ගමන වෙනස් ම එකකි. ඔහු, සුරතල් මත්ස්‍ය ව්‍යාපාරයේත් Water World නම් අනන්යතාවයේත් තරුවක් වන්නේ ඒ අනුවය. මේ ඔහුගේ කතාවයි.
• Water World හදපු ඔබ ව්‍යාපාරිකයෙක් ද... ව්‍යාපාරික නායකයෙක් ද...
ඔය දෙකටම අයිති වුණත් මං කැමැති, රටට වැඩක් කරපු මනුස්සයෙක් විදියට හඳුන්වනවට. ඒ වගේ ම විනෝදාංශයම ජීවන වෘත්තිය කරගත් කෙනෙක්. කෙනකුට ඒ අවස්ථාව ලැබෙන්නේ කලාතුරකින්.
• මොනවද ඔබ මේ රටට කර තිබෙන්නේ...
ඉන්දියාවටවත් දකුණු ආසියාවේ වෙනත් රටකටවත් කරගන්න බැරි වූ පළමු ‘මුහුදු උමඟ’ මං මගේ රටේ හැදුවා. Water World කියන්නෙ ලෝකෙ විරල මාළු ඉන්න මහජන මින් මැදුර විතරක්ම නෙවෙයි, විරල Bird park එකක් සහ දකුණු ආසියාවේ එකම මුහුදු උමඟ තිබෙන තැන. සිංගප්පූරුවෙ ගිහින් දකින්න බැරි කී දාහක් ගම්වල දරුවො අද මේක විඳිනවද... ඔවුන්ගෙ මුහුණුවල සතුට... පුදුමය.... ආස්වාදය මං මගේ දෑසින් ම දකිනවා.
• මාළු කියන්නෙ ඔබට සල්ලි විතර ද...
මාළුන් එක්ක මට තියෙන්නෙ බැඳීමක්. හැඟීමක්. අවුරුදු හතේදි යි මං වෙජිටේරියන් වුණේ. ආදරෙන් අල්ලලා අතගාලා හදන මාළු පැටියකුට තියෙන ආදරේමයි කොයි මාළුවා කෙරෙහිත් මට තියෙන්නේ. රසමසවුළු පිරුණු මේසෙක වාඩි වුණත් මං කන්නෙ එළවළුයි බතුයි විතරයි.
• ඒත් මේ Water World එකේ හැම මාළුවකුට ම ව්‍යාපාරික වටිනාකමක් තිබෙනවා...
ඔව්. මෙතැන ඉන්නෙ බහුතරයක් ලොව මිල අධිකම විරල මසුන්. විශේෂයෙන් මිරිදිය මසුන් පැත්තෙන් ලෝකයේ අනෙක් මින් මැදුරුවලට වඩා ඉදිරියෙන් ඉන්නෙ අපි. ඒ නිසා මාළුන්ට දක්වන සත්කාරයත් ඉතා ඉහළයි.
• ‘Under water sea Tunnel Aquarium….’ සංකල්පයෙන් ඔබට වැඩිපුර ලැබෙන්නෙ මුදල් ද... සතුට ද....
Water World එකට ඇතුළු වන සෑම කෙනකුටම Tunnel එක දහස් වාරයක් වුණත් විඳින්න අවස්ථාව තිබෙනවා. කෝටි ගාණක් වටිනා ඇක්රලික් Tunnel එකක් ඇතුළේ, දුවන පඩි පෙළක හිටගෙන ඉන්න ඔබේ දෙපැත්තෙන් සහ හිසට උඩින් ගැඹුරු මුහුදේ මාළු පීනා යනවා දකිනවිට මොනවද හිතෙන්නේ... ඒ තමයි මිල කළ නොහැකි සතුට.
• ඔය කියන අගය වටිනාකම පාරිභෝගිකයන්ගෙන් ඔබට පෙනෙනවද...
ඔව්. සමහරු නම් කියනවා සිංගප්පූරුවෙ එක මීට වඩා දිගයි කියලා. ඇත්ත, මේ වගේ නව ගුණයක් ඒක දිගයි. හැබැයි ගාස්තුව දොළොස් ගුණයකින් වැඩියි. මට දැන් පුළුවන්කම තිබෙනවා මේ වගේ දොළොස් ගුණයකින් Tunnel එක දිගු කරන්න. හැබැයි මට බැහැ මිනිසුන්ගෙන් ඒ ගාණ අය කරන්න. අද මේක විඳින සාමාන්‍ය ජනතාවට පුළුවන්ද ඒ ගාණ ගෙවන්න... එතැනයි ප්‍රශ්නෙ.
• මොකක් ද ඔබේ Management Style එක...
හැමෝම වැඩ කරන්න ඕනෙ ආයතනික System එක ඇතුළේ. සියයට සියයක් විශ්වාස කරනවාය හෝ සියයට සියයක් අවිශ්වාස කරනවාය කියන තැන මම නැහැ. ‘විශ්වාසත් නැහැ - අවිශ්වාසත් නැහැ’... එහෙම තැනක හිටියම හරි පහසුයි.
• කුරුල්ලෝ... මාළු.... මොනවා වුණත් ජීවිත. මේ සතුන්ට හරියට සේවක සැලකුම් ලැබෙන බව විශ්වාසද...
අපේ System එක ඇතුළේ කාටවත් බොරු කරන්න බැහැ. වටිනා කුරුල්ලෙක් බිත්තරයක් දැම්මොත් ඒක එක පාරට අතට ගන්න අවසර නැහැ. මේ මුළු Water World එක ඇතුළෙම සූක්ෂම කැමරා පද්ධතියක් ක්‍රියාත්මකයි. ඊටත් වඩා වැදගත් වෙන්නේ සේවකයන්ගෙ විනිවිදභාවය. සෑම සතෙකුගේ ම ජීවිතය කෙරෙහි මට වගේ ම බලාගන්න අයටත් වගකීමක් තිබෙනවා.
• මේ සත්තු හිරකරගෙන ඔබ කරන්නෙ සත්ව හිංසනයක් කියලා කවුරු හරි කිව්වොත්...
කවුරු හරි එහෙම කියනවා නම් ඔහු සියයට සියයක් නිර්මාංශී විය යුතුයි. සතෙක් මරාගෙන කනවට වඩා ඌ ජීවත් කරවලා අනෙක් අයටත් සතුටක් දීමයි මං කරන්නේ. අනික මේ හැම කුරුල්ලෙක් ම ජානමය වශයෙන් හා පාරම්පරිකව කූඩුඩවල බෝ කරපු අය. කැලෑවේ නිදහසේ හිටි දේශීය වී කුරුල්ලෙක්වත් අපි ඇති කරන්නෑ. මාළුත් එහෙමයි ටැංකිවල - කූඩුවල සත්තු සාමාන්‍ය පරිසරයට අත්හරින්න බැහැ. උන්ට ඒ පරිසරයේ ජීවත්වීම පුරුදුත් නැහැ. විශේෂ ආහාර විශේෂ සත්කාර උන්ට අත්‍යාවශ්‍යයි.
• ජීවිතයේ ගත්තු ලොකු ම අවදානම මොකක් ද...
හිතේ ගැම්මටම Water World හදපු එක. ඒක තමයි මං ආර්ථිකව වැටුණු ලොකු ම කාල පරිච්ඡේදයත්. අවිවාහකයි. වගකීම් අඩුයි. ඒ නිසාම අවදානම් ගත්තා. තාක්ෂණික දැනුම - මිනිස්සු, මාළු මොනවා තිබුණත් අපිට පාලනය කළ නොහැකි අවදානම් සහගත දේටත් මුහුණ දෙන්න බලාගෙනයි මං වැඩේට අතගැහුවේ.
• කවුද ඔබේ ජීවිතයේ Role Model…
Role Model කියනවාට වඩා මං කැමැති මගේ වීරයා ගැන කතා කරන්න. තාත්තා තමයි මගේ වීරයා. තාත්තා - අම්මා දෙන්නම, මට මං විදියට හැදෙන්න ඉඩ දුන්නා. අක්කටත් එහෙමයි. මං කරපු කියපු හැම දේටම අඩුවක් වැඩියක් එකතු කළා මිස එපා! කිව්වෙ නැහැ. මේ ලෝකෙ හොඳයි - නරකයි දෙක තෝරා දුන්නෙ ඒ දෙන්නා.
• පවුලෙ එකම පුතා මාළුත් එක්ක ම නටනවා... අම්මා තාත්තා දඬුවම් කළේ නැද්ද...
කවදාවත් නැහැ. මගේ අම්මා ආචාර්ය උපාධිධාරිනියක්. ඒ කාලෙ විවෘත විශ්ව විද්‍යාලෙ කථිකාචාර්යවරියක්. තාත්තා අපනයන සංවර්ධන මණ්ඩලයේ සහකාර අධ්යක්ෂවරයෙක්. මගේ අක්කත් උපාධිධාරිනියක්. ඒ වුණත් මගේ මාළු පිස්සුව එයාලා කරදරයක් හො ලැජ්ජාවක් ලෙස සැලකුවේ නැහැ. මගේ විනෝදාංශය ඒ දෙන්නා හුඟක් ඉවසුවා. පාඩුත් වින්ඳා.
• මතකද එහෙම දවසක්..
දවසක් මං යාළුවෙක් එක්ක එකතු වෙලා ගෙයි මිදුලෙ අඩි අටයි අටේ ලොකු වලක් හෑරුවා. ගැඹුර අඩි දෙකක්. අම්මා හවස වැඩ ඇරිලා එද්දිත් මං ඒ වල හාරනවා. ‘මේ මොකද මේ....’ වත්ත මැද මහ වල දැකලා අම්මා පුදුම වෙලා ඇහුවා. ‘මං පොකුණක් හදනවා...’ ටිකක් වෙලා බලා ඉඳලා අම්මා ගෙට ගියා. සමහරවිට මට බණින්න හිතුණත් අම්මා ඉවසන්න ඇති.
• ඔබ හුඟක් පත පොත කියවන කෙනෙක් ද...
මාළු ගැන ලියැවුණු පත පොත නම් ඕනෙ තරම්. වෙනත් පොත් කියලා කියවලා තියෙන්නෙ සරදියෙල්ගෙ කතාවයි ආතර් සී ක්ලාක්ගෙ පොත් දෙකකුයි විතරයි.
• මාළු ගැන ලියැවුණු පොත් ඔය තරමට ලංකාවෙ තිබෙනවද...
මට ලොකුම දැනුම ලැබුණෙ තාත්තා වැඩ කරපු EDB එකේ ලයිබ්‍රරි එකෙන්. ඒකෙ තිබුණා ‘Tropical Fish Hobbyist’ කියලා සඟරාවක්. ජාත්‍යන්තරව විහිදුණු Varieties ගැන විලර මාළු ගැන මං හුඟක් ඉගෙන ගත්ත ඒ මැගසින්වලින්. මං කියැන්හු සමාගමෙන් නිතර ඉල්ලුවේ ඒ විරල මාළු. ‘ලෝකෙ කොහේවත් නැති මාළුනේ උඹ ඉල්ලන්නේ...’ ඔවුන් මට කිව්වා. පොත් පත්වල අහපු දැකපු මාළු ලෝකෙ, එහෙම පිටින් ම සුරවිමනක් වගේ මං දැක්කෙ සිංගප්පූරුවෙ කියැන් හු මත්ස්‍ය ගොවිපළේදි.
• එතකොට public Aquarium හෙවත් මහජන මින්මැදුරු සංකල්පය හිතට ආවේ...
විජේරාම හන්දියේ මගේ ම කියලා සාප්පුවක් ඇරලා අවුරුදු තුනකට පස්සෙ එක හැන්දෑවක. ඒකත් මාළු ගන්න ආ කෙනෙක් එක්ක මං කතා කර කර හිටි මාතෘකාවක්. ඒ මනුස්සයා ගියාට පස්සෙ මට හිතුණා, ‘අපේ රටේ පළමු මහජන මින්මැදුර මං හදනවා...’ කියලා.
• ඒත් ඒ වෙලාවෙ ඒ තරම් ප්‍රාග්ධනයක් ඔබට තිබුණද....
ව්‍යාපාරයකදී මූලික වෙන්නෙ සල්ලි ම නෙවෙයි, සිතුවිලි. සිතුවිලිවලට පණ දෙන්නයි සල්ලි ඕනෙ වෙන්නේ. අපේ සිතුවිලි මළානික නම් සල්ලි තිබුණත් ඵලක් නැහැ. මුදල්වලට වඩා ඒ වෙනකොට හිතන්න බැරි විරල මාළු එකතුවක් මං ළඟ හිටියා. තව මං දීපු මාළු පැටව් ගෙවල්වල ලොකු මහත් කරලා මටම බාර දෙන්න විශාල පිරිසක් හිටියා. ඒ තරුණ පිරිසත් ඒකෙන් හොඳට හම්බ කළා. ඒ විරල මාළු එකතුව ම තමයි ඒ වෙලාවෙ මං සතු වූ ලොකු ම ප්රාග්ධනය වුණේ.
• අධිෂ්ඨානය... ඉලක්ක කරා ගමන් කිරීම ඔබේ ජීවිතය ඇසුරින් විග්රහ කරන්න...
මහජන මින්මැදුරක් හදන්න ලොකු සල්ලියක් ඕනේ. පිටු 64 ක project report එකකුත් හදාගෙන මං ගියා මේ රටේ ප්රමුඛ පෙළේ බැංකුවකට. ‘කවුද මේ රටේ සල්ලි දීලා මාළු බලන්නේ...’ ඔවුන් මගෙන් ඇහුවා. ‘කොයි රටෙත් මහජන මින්මැදුරු පෙන්වන්නේ සල්ලි අරන්... ඇයි අපේ රටේ බැරි...’ මං ඇහුවා. ‘මේක අසාර්ථක වැඩක්. සොරි...’ කියලා කතාව ඉවර කළා. ඊළඟට මං ගියේ ජාතික බැංකුවකට. එතැනත් වුණේ ඒකමයි. අන්තිමේ මං බැංකු පස්සෙ යන එක නැවැත්වුවා. තාත්තගේ යාළුවො සහ මගේ හිතවතුන්ගෙන් ණයට පොළියට අරන් ඉඩමක් බදු ගත්තා. මගේ ඉලක්කයට ගියා. Tunnel එක හදන වෙලාවේ නම් කොමර්ෂල් බැංකුව උදව් කළා.
• මාළු ප්‍රදර්ශනයත් ‘මාකටින්’ වැඩක්. බිස්නස් ඔබේ ඇඟේ තියෙන දෙයක් ද...
මගේ පවුලෙ බිස්නස්කාරයෙක් ගැවුණු තැනෙකවත් නැහැ. ඒ හින්දා කියලා දෙන්න කෙනෙක් හිටියෙත් නැහැ. මං Business Management උපාධි කරලත් නැහැ. Business ගැන යමක් ඉගෙන ගත්තා නම් ඒ, තාත්තගෙ යාළුවන්ගෙන් සහ පත පොතින්, අත්දැකීම්වලින්. ඒවායින් මගේ ම කියලා ක්‍රමයක් හදාගෙන ආපු ගමනක් මේ.
• පුංචි කාලෙ ඔබට තිබුණු හීන බලාපොරොත්තු මොනවද...
හැම නිවාඩු කාලයක් එනකල් ම මං බලා හිටියා, මගේ මාළු බෝ කිරීමේ Project එක වෙනුවෙන්. ‘මේ පාර මං බෝ කරන්නෙ මේ මාළුවා...’ මං ප්ලෑන් එකක් හදනවා. ටැංකි... ෆිල්ටර්ස්... ගස් එහෙම කළින් ම ලෑස්ති කරනවා. අලුතින් මාළු ජෝඩු ගන්න අදහස තාත්තට දෙන්නෙ ඊට පස්සෙ. ‘පඩි හම්බවුණාම බලමු...’ එහෙම කියන තාත්තා පඩි ගත්තම නොවැරැදීම ඒ මාළු ටික අරන් දෙනවා. මට තිබුණු එකම අරමුණ මාළු පැටව් බෝ කරන එක. ඇත්තට ම ඒ සමහර ඒවා Research මට්ටමේ වැඩ.
• මුදල් ගැන ආසාව හිතට ආවෙත් ඒ වයසෙදිමද...
ඒ ළමා කාලෙත් මට මුදල් කියන්නේ, මාළු ගැන ආසාව - කැපවීම නිසාම ළඟා වූ දෙයක්. අවුරුදු අෙට් ඉඳලා මාළු ඇති කරපු - බෝ කරපු මට, ඕ ලෙවල් පන්තියට එනකොට ගෙදරින් කිසිම දේකට සල්ලි ඉල්ලන්න ඕනෙ නැති තරමට මුදල් තිබුණා. මං බෝකරන මාළු පැටව් මං විසිතුරු මසුන් කඩවලට විකිණුවා. හුඟක් හොඳ දේවල් කරන්න සල්ලි ඕනෙ වග මං වටහාගෙන තිබුණා.
• මුදල් හම්බ කිරීම වගේ ම ඒ ළමා කාලයේ ඉතිරි කිරීමටත් ඔබ සූරයෙක් ද...
අලුත් මාළු වර්ග ගන්න ඕනෙ වුණාම මං තාත්තට ම කරදර නොකර අම්මගෙන් ගෙදර වැඩ ඉල්ලන්න පටන් ගත්තා. රාක්ක සුද්ද කරන්න, අතුගාන්න, පිහදාන්න වගේ ම උයන පිහන වෙලාවටත් මං කැමැත්තෙන් උදව් කළා. හැබැයි ඒවට ගෙවිය යුතු ගාණ කිව්වෙ මම. රුපියල් පණහ තමයි ලොකුම ගාණ. ඒකෙන් මට මාළු ජෝඩු හුඟක් ගන්න පුළුවන් වුණා. ඒ විතරක් නෙවෙයි, තාත්තා ඉස්සර නිතර රාජකාරියට පිටරට යනවා. ඒ ගියාම මට Lego Sets ගෙනැත් දෙනවා. මං ඒවා හදලා පෙන්වන්නෙ ගෙදර අයට ම ටිකට් කඩලා. ටිකට් එක රුපියල් පහයි. ඒ සල්ලිත් මාළු ගන්නමයි.
• ඔබ මුදල් හම්බකරන්න ඇත්තට ම සූරයෙක්...
කෙනකුට එහෙම හිතේවි. නමුත් මට තිබුණෙ, නිකම් ම ගෙදරින් සල්ලි ඉල්ලන් මාළු ගන්නවට වඩා, මහන්සිවෙලා හම්බකරන මුදලකින් මාළු ගැනීමේ උවමනාව.
• කොහේද ඔබ පාසල් ගියේ...
මුලින් ම අසෝක කනිෂ්ඨෙට ඉන් පස්සෙ කොළඹ ආනන්දෙට. උසස් පෙළ පන්තියෙදි නම් මං ඉස්කෝලෙ ගියාට වැඩිය නොගියා. ඉගෙන ගන්න අති දක්ෂයෙක් නොවුණට මං යමක් කරගනී කියන විශ්වාසය පන්තිභාර ලොකුලියන සර්ට තිබුණා. විභාගෙට වාඩි වුණේ ඒ අවසරයෙන්.
• ඔබ ඒ විශ්වාසය ආරක්ෂා කළාද...
මට ඕනෙ වුණේ එස්. හතරක් අරන් පාස් වෙන්න විතරයි. මොකද මං ඒ වෙනකොට එකම past paper එකක්වත් කරලා තිබුණෙ නැහැ. A/L වලට ඉඳගත්තම එදා තමයි ඉස්සරවෙලා ම ප්‍රශ්න පත්තරේ දැක්කෙ. හැබැයි මං B - 2 යි C - 2 යි අරන් පාස්වුණා.
• ඔබට තිබුණනේ උසස් අධ්‍යාපනයට යොමු වෙන්න.
තාත්තගෙ උවමනාවට CIM - Marketing කළා. හැබැයි පියවර කිහිපයයි. මං ඒකත් අත් හැරියා. මට ඕනෙ කළේ මගේ ම කියලා යමක් කරන්න. කීයක් හරි හම්බකරන දෙයක් කරන්න.
• ඉතින් ඔබ මොනවද කළේ...
තාත්තා මට එයාගෙ වෑන් එක දුන්නා. තාත්තගේ යාළුවගේ ඩිලිවරි කොම්පැණියට සම්බන්ධ වෙලා වැඩකරන්න කිව්වා. ආයතනයකට සම්බන්ධ වෙනකොට පිළිවෙළකට යන්න එපැයි. මං එච්චර දවස් ආසාවෙන් වවපු කොණ්ඩෙත් කපලා සමාගමේ අයිතිකරු මුණගැහෙන්න ගියා. ඔහු මගේ දිහා ටිකක් වෙලා බලා හිටියා. එහෙම ඉඳලා, ‘පුතා ඔයාට මීට වඩා හොඳ රස්සාවක් කරන්න පුළුවන්... ඒ නිසා මේ ජොබ් එකට එන්න එපා...’ කිව්වා. මට කරගන්න දෙයක් නැහැ. ආසාවෙන් වවපු කොණ්ඩෙත් නැහැ. ජොබ් එකත් නැහැ... මං ගෙදර ගියේ හොඳට ම තරහින්.
• සමහර අහම්බයන් ජීවිතේ එහෙම පිටින් ම වෙනස් කරනවා... ඔබට එහෙම හිතිලා නැද්ද...
ඇත්තට ම මේ සිදුවීමෙන් පස්සෙ තමයි මං හිතා ගත්තෙ සිංගප්පූරුවෙන් විසිතුරු මාළු ගෙන්වන ව්‍යාපාරයක් පටන් ගන්නවා කියලා. මොකද ඒ වෙනකොට තාත්තා මාව එකවරක් සිංගප්පූරුවට එක්ක ගිහින් තිබුණා. ‘කියැන්හු’ දැවැන්ත විසිතුරු මසුන් සමාගමත් අපි හඳුනාගෙන තිබුණා. ඒකට අපිට උදව් කළේ තාත්තගෙ ඔය ඩිලිවරි කොම්පැණි අයිතිකාර යාළුවා.
• එතැනින් ඔබ අලුත් ජීවිතයක් පටන් ගත්තද...
සිංගප්පූරුවෙ දැවැන්ත ‘කියැන් හු’ විසිතුරු මසුන් සමාගම, මට මාළු ණයට එවන්න එකඟ වුණා. ඒ විශ්වාසය ගොඩ නැඟුණෙ මං තනියම එහෙ ගිහින් රුපියල් හැත්තෑදහක් වගේ සාමාන්‍ය මුදලකට මාළු අරගෙන ආවට පස්සෙ. ඒ සමාගමේ එක් අයිතිකරුවකු වූ ඇන්ඩි යැප් මහතා දැනගත්තා මට මාළු ගැන තියෙන්නෙ උණක් වග. එතකොට මට වයස දහනවයයි. ඔහු මට හුඟක් උදව් කළා.
• ව්‍යාපාරයේ හැරවුම් ලක්ෂ්‍යය ලෙස ඔබ දකින්නෙත් ඔය මාළු ආනයනය කිරීමේ සිදුවීමම ද...
ඒ වෙලාවෙ ඒක තමයි. හැබැයි පළවෙනි shipment එකේ මාළු විකුණගන්න මට තුස්මාසෙකට වැඩිය ගියා. දෙවැනි තුන්වෙනි වෙද්දි මට විශාල පාරිභෝගික ජාලයක් නැඟුණා. මාළු ගන්න එන අය මාළුවකුගේ ජීවිතය ගැන ඌ කැමැති අකැමැති දේ... චර්යාව කෑම් බීම්... ඔය හැම දේ මගෙන් අහන්න ගත්තා. කතා කළා. ඒ තොරතුරු හුවමාරුව තමයි මගේ ව්‍යාපාරය වෙනස් මඟකට යොමු කෙළ්.
• ලෝකෙ ඉස්සරහට යන්නෙ වෙනස් විදියට හිතන මිනිස්සු... මේ කතාව ඔබටත් දැනෙනවද...
මම මාළු හැදිල්ල පිස්සුවක් කරගත්තු කෙනෙක්. ඒක නිකම් ම පිස්සුවක් නෙවෙයි, දැනුම හා අධ්‍යාපනය එක්ක බැඳිලා ගිය දෙයක්. මම මේ Water World එකේ ඉන්න හැම මාළුවකුගේ ම කුරුල්ලකුගේ ම ජීවන චක්‍රය පැටිකිරිය දන්නවා. මේ හැම බෝඩ් එකකම හැම විස්තරයක් ම ලියන්නෙ මමමයි. බලන්න එන අයට ඒකෙන් විශාල අධ්‍යාපනික වටිනාකමක් ලැබෙනවා. නිකම් ම මාළු බලනවට වඩා මෙතැන වෙනස ඒකයි. ඇත්තට ම ඒ වෙනසට තමයි වැඩිපුර ම ජනතා ප්‍රතිචාර ලැබෙන්නෙත්.
• ඔබ වාසනාව විශ්වාස කරනවද...
මං විශ්වාස කරන්නෙ කර්මය ගැන. පව සහ පින ඵල දෙන්නෙ කර්මයට අනුවයි. ලැබෙන්නෙ නොලැබෙන්නෙ, ලැබිලා නැතිවෙන්නෙ හැමදේ ම කර්මය අනුව.
• මේ රටේ මාළු ඇතිකරන තවත් දරුවකුට හිතුණොත් දවසක Water World හදපු දර්ශන කෙනෙක් වෙන්න...
විනෝදාංශෙ වු්ණත් හරියට කරන්න ඕනෙ. කවුරුත් නොකරන අවදානම් වැඩ කරන්නත් පුළුවන් වෙන්න ඕනේ. තනියම මිලියනපතියෙක් වෙලා මැරෙනවට වඩා රටට යමක් කරන්න ආසාවෙන්න ඕනේ.
• ඔබේ හීන - ඉලක්ක තවත් තියෙනවද...
පුංචි කාලෙ මං ආසා කළා ලස්සන වාහනවල යන්න. හොඳ සල්ලිකාරයෙක් වෙන්න. ඒ වෙනුවෙන් මං වැඩ කළා. සමහරවිට මුළු මාසෙම එක දිගට. රැයක් දවාලක් නැතිව. අද මගේ විදිය වෙනස්. ව්‍යාපාර විවිධාංගිකරණයටයි අද මගේ වැඩි කැමැත්ත. බිස්නස් එකක් ගොඩනඟන කාලෙට වඩා ඒ තීරණ ගන්නෙ බොහොම හිතලා.
• දැන් ඔබේ වයස කීයද...
අවුරුදු 39 යි. ආපහු හැරිලා බලද්දි මගේ වයසට වඩා මං වැඩකරපු හැටි මතක් වෙනවා. මාළු පිස්සෙක් කෝටිපතියෙක් වුණේ එහෙමයි. මං ළඟ තියෙන්නෙ ගොඩගහපු දේ නෙවෙයි. විහිදුණු දේ. හරි සතුටක් දැනෙනවා.
• මාළුන්ට මේ තරම් ආදරේ ඔබට දරුවන් වෙනුවෙන් වැය කරන්න කාලයක් තියෙනවද...
මගේ පුතාලා දෙන්නයි දූයි තවම පුංචි දරුවෝ. මගේ දෙවැනි පුතාට අවුරුදු හතයි. එයා කැමරාකරණයේ අමුතු දක්ෂතා පෙන්වන දරුවෙක්. ලැබෙන හැම අවස්ථාවක් ම මං ගත කරන්නේ ඒ තුන්දෙනා එක්ක. ඇත්තට ම දරුවන්ගෙ හොඳම යාළුවො තමයි අපි දෙන්නා. ඒ තුන්දෙනා ම හොඳ දිවි පැවතුම් ඇතිව හැදෙන දරුවෝ.
• මාළු නිසා ජීවිතේට ලැබුණු වටිනාම දේ මොකක් ද...
මේ හැමදේම. වෙනකක් තබා මගේ බිරියත්. ඇයත් විසිතුරු මසුන් මිලදී ගන්න ආ බැංකු නිලධාරිනියක්. අන්තිමට බැංකුවෙනුත් අස්වුණා.
ඇයත් මාළුන්ට ම ඇරුණා. මගේ දරුවො තුන්දෙනාත් අපි දෙන්නා වගේ ම මාළුන්ට ආදරෙයි.
උපුටාගැනීම සිළුමිණ
ඉනෝකා පෙරේරා බණ්ඩාර
ඡායාරූපය අන්තර්ජාලයෙනි
0 Comments:
Post a Comment